දරමි මම දරමි නුඹ
ආදරය වස්සාන ගොම්මනේ හිරවෙලා
තෙතබරිත සියොළඟම සිහිල් පවනේ වෙලා
ඉකි ගහන අහසටම දෙස් දෙවොල් තල තලා
දරමි මම වැහි පොකුරු ඉකිබිඳින සල සලා
පෙරදාක නුඹෙ හිනා කොමල ආලෙන් වෙලී
නුඹෙ කඳුළු දරන්නට යොමා දෑතම සැලී
උනුහුමේ දරන කල හිතට හිතුනා යලී
නුඹ අයිති සයුරටය කෙලස දරනෙම් ගැලී
මට උරුම නුඹ රැකුම මග හසර කියා දී
නොකිලිටිව නොවෙනස්ව සයුර මග සොයා දී
නුඹෙ හුස්ම හද ගැස්ම මගෙ ලමැද දවා දී
තවත් සිහිලක් කොහෙද මේ වැස්ස මවා දී
සයුර දිය මුසුව නුඹ ලොව තුලිත කල මැනවි
පෙමින් බැඳි ගං තෙරට සිතින් පෙම් කල මැනවි
උරුම නැත කීවාට මට උරණ නොව මැනවි
සදා පෙම් කරමි මම දරමි නුඹ මගෙ මෙනෙවි


Comments
Post a Comment